Thursday, November 24, 2011

මට වෙච්ච ඇබැද්දියක්

DSCI0019

අපේ තාත්තගේ වැඩ කරන තැන තියනවා ගොඩක් සියුම්ව බර කිරන්න පුළුවන් පොඩි මැෂින් එකක්..ඒක ගැන තමා කතාව

වැඩ කරන තැන තියනව පොඩි ටී.වී. එකක්.අද දවාලේ මම එතැන්ට පොඩ්ඩක් ඔළුව දාන්න ගියා.යද්දි වැඩ කරන අයියල ටික ටීවී එක බල බල කනව.මාත් ඉතින් මැෂින් එක තියන තැනට වෙලා සිංහල ෆිල්ම් එකක් යනව ඒකත් බල බල හිටියා.සබීත ආච්චි ගෙ කෙල්ල කාලෙ ෆිල්ම් එකක් තමා ගියේ.මට ඉතින් අත පය නිකන් තියන් ඉන්න බැරි ලෙඩක් තියෙනවනෙ..අර මැෂින් එකේ තැටියක් තියෙනව.මම නිකමට වගේ ඒක ඉස්සුව.මෙන්න ඒකෙන් කියනව බර  –34.671g කියල.දශම තුනක් වෙනකන් බර මනින්න පුළුවන් සියුම් මැෂින් එකක් ඒක.මම ටීවී එක දිහා බලා ගෙනම තැටිය තිබ්බ.අමතක වෙලා අත ටිකක් තද වුනා.. සයිලන්ට් එකේ හිටපු මැෂින් එක මෙන්න යටි ගිරියෙන් බීප් බීප් කිය කිය බෙරිහන් දෙන්න ගත්ත නෙ.ඒ මදිවට ඩිස්ප්ලේ කටුවෙ  OL කියලත් වැටෙනව.මගෙ බොක්ක කූල් වුනා තේරුනා. නාලා වරෙන්කො දැන්.ඒකෙ ඕෆ් කරා බලන්න.ටිකක් ඉදල ඔන් කරා.එක එක ඒව ගොඩක් වැටිල මෙන්න E1 කියල වැටෙනව. ආයිත් ඕෆ් කරල ඔන් කලා ඒත් ඒ මැසේජ් එකම එනව. තාත්ත පහල වත්තෙ හිටියෙ.දුවල ගිහින් කිව්ව මැෂින් එකෙ තැටිය උස්සල තිබ්බ දැන් ඒක පිස්සු නටනව කියල.තාත්ත කින්ඩි හිනාවක් දාලා අහනව ඇයි තැටිය ඉස්සුවෙ කියල.දැන් දීපන්කො උත්තර…මම ෂේප් එකේ ඒක ඇහුනෙ නැති ගානට ඇහුව ඒක කීයක් විතර වෙනව ද කියල..තාත්තා කිව්වෙ නැතෑ රු.35 000ක් විතර කියල.දැන් නම් මට මාර අප්සට්. කවුද හිතුවෙ ඔහොම දෙයක් වෙයි කියල. OL = Over Load(ඒකෙ උපරිම මනින්න පුළුවන් 200gයි ලු) කියන්න මම දන්නව.එතකොට මඟුල E1 කියන එකේ තේරුම මොකක්ද… මැෂින් එකත් එක්ක නටල හරි දැන් මේක වැඩ කරව ගන්න ඕනි කියල මම දන්නව.මොනව හරි කරන්න කියල ආයිත් ගෙදරට ගියා.අනේ දෙයියනේ මේක දැන්වත් වැඩ කරපන් කියල මැෂීන් එකේ ප්ලග් එකත් ගලවල ගැහුව.චුටි රතු බොත්තම ඔබල ඔන් කලා.

999999 8888888 මංජු අයිය කිව්ව “තැටිය අතට ගන්න” කියල එතකොට තමා දැක්කෙ වැඩ කරන අයියල සෙට් එකත් වට වෙලා බලන් ඉන්නව කියල (කැඩිල නම් ෂේප් එකේ මාරු වෙන්න තිබ්බ චාන්ස් එකත් ඉවරයි) මෙන්න මැෂින් එකේ 777777 666666 555555 444444 333333 222222 111111 කියල ඉලක්කම් පේලි ටික ලස්සනට පිලිවෙලට වැටුනා.

අන්තිමටම 0.000g කියල වැටුනා.ඒ කියන්නෙ ඒක යථා තත්වෙට ඇවිත්.. අම්මෝ !!! මට මාර හැපි … මාව ටිකක් කූල් වුනේ ඒ වෙලාවෙ තමා. දඩ බඩ ගාල එතනින් අයින් වෙලා අපේ පද්ම සෑර් ව මතක් වෙලා වැඩ කරන අයියල ටිකට මෙහෙම කිව්ව “මැෂීන් බොහොම භයානකයි.පුපුරන සුළුයි ! මම නම් තවත් මෙතන ඉන්නෙ නැහැ” කියල මම ඉක්මනටම වැඩ පලෙන් ආවා….

(සත්‍ය සිදුවීමකි 2011-11-24 ප.ව.2.45ට පමණ )

Saturday, November 12, 2011

පොතක් ගැන



මගේ බ්ලොග් ය තුල දිගින් දිගට ම දේශපාලන විවේචන වල නිරත වීමට අදහස් නොකරන බව පළමුව සටහන් කල යුතු වේ..

Untitled-1

වර්තමාන දේශපාලනය තුල පවත්නා අනුකම්පා විරහිත ක්‍රියාකාරකම් ගැන මෙන් ම දේශපාලුවකු සතු බලය අනිසි ලෙස යෙදවීම් ගැන ද ලංකාවේ ඉතා ම හොඳ පොලිසියේ සම්මාන දිය යුතු ක්‍රියාකාරකම් ගැන ද මේ පොත තුලින් අවබෝධයක් ලැබිය හැක.

එහි පටුන නම් මෙසේ යි….

01) මිනිසුන් අත්අඩංගුවට ගෙන රඳවා කප්පම් ගෙන නිදහස් කළ හැටි.

02)රනිල් වික්‍රමසිංහ ට එරෙහි සී.අයි.ඩී.සැලසුම.

03)කෙහෙළිය රඹුක්වැල්ල ඝාතන ප්‍රයත්න ක්ලේමෝ බෝම්බයේ හෙළි  නොවූ රහස්

04)හිටපු පොලිස්පති පුතා ඇසක් ගලවා ලක්ෂ 25ක් දෙන්න හදලා

05)චන්ද්‍රිකා ට අභියෝග කළ රජයේ මුද්‍රණාල ගින්න

06)ලංකාවේ ලොකු ම හොර වාහන තිප්පොළ

07)රෝහණ විජේවීර මැරුවා ට අමරසේකර, රංජන් ට සුභ පතයි.

08)තරුණයන් 25ක් මරා වළ දැමූ අභිරහස් මිනී වළක්.

මෙය ඒක පාක්ෂික පොතක් නොවන බව මා අවධාරණය කළ යුතුය.

බහුතරයක් අඳ බාල මෝඩයන් සිටිනා වර්තමාන සමාජය මෙවන් පොතක් කියවා වත් දේශපාලුවන් ගැන අවබෝධයක් ලබා ගන්නේ නම් මැනවි.

 

වර්තමාන සමාජය ගැන දැන දැන ම වර්තමාන රාජ්‍ය ප්‍රධානියා ගේ  රහස් පවා එළි කිරීමට කතුවරයා සිය කෘතිය තුල පසුබට නොවේ.

වර්තමාන සමාජය ඡන්ද කාලෙට යන දැන්වීම් නරඹා , වැඩි ම දැන්වීම් ගනනක උරුම කරුට ඡන්දය දෙනවා වෙනුව ට වඩා යමක් කිරීමට සිතීමටවත් කාලය එළඹ තිබේ.

ඡන්දයේ මූලික සුදුසුකම ප්‍රසිද්ධිය නොවන බව මහජනයා අවබෝධ කර ගත යුතු ය. උපන් ගෙයි මෝඩයන් හා බොරු කාරයන් වන නළු නිළියන් හා මැරයන් දේශපාලනයෙන් තෝරා බේරා පත් කරනවා වෙනුවට වඩා යමක් අප ලක් මාතාව වර්තමාන පිබිදෙන තරුණ පරපුරෙන්  හඬා වැටී අයදිමින් සිටිනවා විය හැක.

 

මා කුඩා කල කියවූ විද්‍යා ප්‍රබන්ධයක මෙවන් සටහනක් විය.( අවාසනාව ට අද මට එහි නම අමතකය.)

ප්‍රබන්ධයට අනුව එදින ඡන්ද දිනය යි.උදෑසන අවදි වන මොහු ට ඔහු ගේ ස්වයං බුද්ධියක් ඇති පරිගණක ය විසින් දිනයේ ඔහු ට කිරීමට ඇති කාර්්‍යය න් එකිනෙක පවසයි. එහි දී එදින ඡන්ද දිනය බව ද පරිගණකය මතක් කර සිටී.උදෑසන කෑම මේසයේ දී අන්තර්ජාලයෙ න් ඡන්දය දීම ට තීරණය කරන මොහු කෑම කාමරයේ පරිගණක තිරයට අපේක්ෂකයන් ගේ මුහුනු වල රූප ලබා ගනී.අනතුරුව එක් එක් අපේක්ෂකයන් ගේ විස්තර කියවයි.

එම විස්තර වල අඩංගු වන්නේ අපේක්ෂකයාගේ ජාතිය ,ආගම ,පරම්පරාවේ ඉතිහාසය ,තමා සතු වත්කම් ප්‍රමානය .තමාගේ තම පියා ගේ  පියා ගේත් පියා ගේ දේශපාලන තනතුර , දේශපාලන උරුමය හෝ තම පවුලේ වග තුග හෝ නොවේ.

එහි අඩංගු වනුයේ ඔහු හෝ ඇය ගේ අධ්‍යාපන සුදුසුකම් වන අතර ලබා ඇති උපාධි ප්‍රමාණය ආදිය ගැන සටහනකි.

ඉහල ම සුදුසුකම් ඇති තැනැත්තා ට ඡන්දය පිරිනමා අනතුරුව ඔහු ගේ අනෙක් වැඩ කෙරෙහි අවධානය යොමු කරයි…………………….

 

මෙවන් දිනයක් උදා වන තෙක් මම ඇඟිලි ගනිමින් ප්‍රාර්ථනා කරමින් සිටිමි.ඔබ ත් එසේම ද ?

 

නමුත් මෙය හුදු සිහිනයක් පමනක් යැයි සිතෙන්නේ සම වයස් හී සිටින මිතුරු මිතුරිය න් සත්‍ය දැන හෝ නොදැන , දන්නා සත්‍ය ත් සාධරණී කරනය කිරීම ට උත්සහ කරමින් දක්වන අන්ධ භූත ලොල් බව දුටු විට ය.කණගාටුවෙන් නමුත් ප්‍රකාෂ කිරීමට ඇත්තේ පිබිදෙන තරුණ පරපුරේ හැසිරීම මෙලෙස නම් එයින් කියැවනුයේ මා කියවු ප්‍රබනධය තවත් පරම්පරා ගණනාවක් පසු වන තෙක් ම ප්‍රබන්ධයක් ම වන බව නොවේ ද ?